පසු කොවිඩ් තත්ත්වය ජයගනිමින් වෙළෙඳ පොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් කරා රැගෙන යන අයවැයක්.

2022 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලේඛනය වන මෙය වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය ලේඛනය ද වෙයි.

වෙළෙඳපොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් යටතේ එය සකස් කර තිබේ. ඒ සඳහා වන ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නව තාක්ෂණය හා මුසුකොට රට සංවර්ධනය කරා රැගෙන යාම ඉලක්ක කර ගත් යෝජනා මෙවර අයවැය ලේඛනයට ඇතුළත් වනු ඇත. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා යොදා ගැනීම සේම මුහුණ පා සිටින විදේශ විනිමය ගැටලුව අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ද 2022 වසරේ අයවැය ලේඛනයට ඇතුළත් වෙයි. පසු කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය යථාවත් කිරීමේ යෝජනා රැසක් ද අයවැය ලේඛනයට ඇතුළත් ය.

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2022 වසරේ රටේ සමස්ත වියදම රුපියල් බිලියන 5128ක් පමණ වේ. ඊට රාජ්‍ය සේවය වැටුප්, සහනාධාර, සුබ සාධන, ණය පොලී ආපසු ගෙවීම්, සංවර්ධන ආයෝජන සඳහා වන වියදම් ඇතුළත් ය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය 13 වැනි සෙනසුරාදා ආරම්භ කෙරේ. 22 වැනි අගහරුවාදා පස්වරු පහට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. අයවැය තුන් වෙනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන්නේ 23 වැනි අගහරුවාදායි. දින 16ක් විවාද කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 10 වැනිදා පස්වරු 5ට අයවැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

2022 වසර සඳහා වන අයවැය කතාවේ මෘදු පිටපත් අයවැය කතාව අවසන් වූ වහාම www.treasury.gov.lk යන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් බා ගත කළ හැකි ය.

මාධ්‍ය ඒකකය,

මුදල් අමාත්‍යාංශය

Press Release