විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීමේ දී අදාළ ව්‍යාපෘතිය තුළින් ම ණය ගෙවීමට ඇති හැකියාව සොයා බලන්න
- අග්‍රාමාත්‍යතුමාගෙන් නිලධාරීන්ට උපදෙස්

විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේ දී එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම අනිවාර්ය කරුණක් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙන්නේ අදාළ ව්‍යාපෘතිවල ආදායම තුළින් ම එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම වඩාත් යෝග්‍ය බවයි.

එබැවින් ණය ලබා ගැනීමට ඇති හැකියාව සේම එම ණය යෙදවීම සඳහා වඩාත් ඵලදායී ව්‍යාපෘති තෝරා ගැනීම අත්‍යාවශ්‍ය බව හෙතෙම අවධාරණය කරයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා එක්වෙමිනි. එම රැස්වීම ඊයේ (08) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

විදේශ ණය යෝජනා ක්‍රම යටතේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සාගර විශ්ව විද්‍යාලය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ද මෙහි දී වැඩි අවධානයට ලක් විය. අග්‍රාමාත්‍යතුමා එහි දී කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති හුදෙකලා ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

විදේශ ණය මත දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඉදිරියේ දී ලබා ගැනීමට අපේක්ෂිත ණය සහ ණය වාරික ගෙවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරු වන ගැමුණු කරුණාරත්න සහ චරිත් විජේසිංහ යන මහත්වරු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

අසේල බණ්ඩාරනායක,
ගරු මුදල් අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්