අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5000/= දීමනාව ලබාදීමට පියවර

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සිංහල සහ ‍දෙමළ අලුත් අවුරුද්ද සඳහා රු.5000/= දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හ‍ඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම මත එම බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මාධ්‍ය ඒකකය,
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,
ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

press_release_si.pdf