රටවල් රැසක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවෙති.

අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, රුසියාව, යුරෝපා සංගමයේ තානාපතිවරු හා බ්‍රිතාන්‍ය, ඉන්දීය මහ කොමසාරිස්වරු අද (14) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ. 

මුදල් අමාත්‍යවරයා ලෙස සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ප්‍රථම වරට මෙම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මුණ ගැසීම සිදු විය. 

මෙහි දී අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී Alaina Teplitz මහත්මිය, ජර්මානූ තානාපති Holger Lothar Seubert මහතා, රුසියානු තානාපති Yuri B. Materiy මහතා, චීන තානාපති Qi Zhenhong මහතා, යුරෝපා සංගමයේ මෙරට තානාපති Denis Chaibi යන මහත්වරු සහ ඉන්දියානු මහ කොමසාරිස්  Gopal Baglay මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී ද්වී පාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ. 

ද්වී පාර්ශ්විකව පැවැති සාකච්ඡාවල දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී
ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළ සඳහා සහය අපේක්ෂා කරන බවත් ය. 

ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීම පිළිබඳ ද රජයේ අවධානය යොමු ව ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී වැඩි දුරටත් පැවැසීය.

මෙහි දී අදහස් දැක් වූ මහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සහ හරිත ආර්ථිකයක් කෙරෙහි රජය දක්වන උනන්දුව පිළිබඳ ප්‍රසාදය පළ කරන බවයි. 

මහ කොමසාරිස්වරිය වැඩි දුරටත් සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය ඉදිකිරීම්කරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවත්, ඊට අවශ්‍ය සහය ඉදිරියටත් ලබා දීමට අපේක්ෂා කරන බවත් ය.  

ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල් කාර්තුව තුළ 4.7% පමණ මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳව සතුටු දායක විය හැකි බවත්, එය ඉදිරියේ දී 5.5%ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වනු ඇති බවත් ය. ද්වී පාර්ශ්වීය වෙළෙඳ කටයුතු වඩාත් සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහි දී කැමැත්ත පළ කළේ ය. 

දැනට ශ්‍රී ලංකාව වෙත ලබා දෙන එන්නත් පහසුකම් අවශ්‍යතාව පරිදි ඉදිරියටත් ලබා දීමට චීනය කටයුතු කරන බවත්, එරට ඉහළ පෙළේ ආයෝජකයන් හම්බන්තොට කර්මාන්ත කලාපයට සම්බන්ධ කිරීමට සූදානම් බවත් චීන තානාපතිවරයා මෙම හමුවේ දී බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවැසීය. ‍

කොවිඩි වසංගත හමුවේ පවතින ආර්ථිකය තත්ත්වය ඉතා ඉක්මනින් සාමාන්‍ය අතට පත් වෙතැයි චීනය අපේක්ෂා කරන බව ද චීන තානාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය. ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

     දැනට දිවයින තුළ පවතින ජර්මානු තාක්ෂණ විද්‍යාලවල පහසුකම් ඉහළ නැංවීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයන් යොමු කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තම රජය අපේක්ෂා කරන බව ජර්මානු තානාපතිවරයා මෙම හමුවේ දී කියා සිටියේ ය. 

ද්වී පාර්ශ්වීය සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව ද අමෙරිකානු තානාපතිවරිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළා ය. රජයේ හරිත ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ තානාපතිනිය LNG බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව ද මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා ය. 

මෙහි දී බැසිල් රාජපක්ෂ මහතා හමු වූ රුසියානු තානාපතිවරයා කියා සිටියේ එන්නත්කරණ වැඩපිළි‍වෙළ සඳහා ඉදිරියටත් සිය රජයේ සහය ලබා දෙන බවයි. එන්නත් නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය. 

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.