පශ්චාත් COVID - 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම තේමා කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී..

අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ (2022) මැයි මස 2- 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද (29) සිදු කෙරිණි. ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් KenchiYokoyama මහතා ඊට අත්සන් තැබූ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙම සමුළුව සඳහා‍ සාමාජික රටවල නියෝජිතයන් 3000 – 5000ත් අතර පිරිසක් සහභාගී වීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යවරු, මහ බැංකු අධිපතිවරු ජාත්‍යන්තර බැංකු නියෝජිතවරු, සමාගම් විධායක නිලධාරීහු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වෙති.

මෙවර සමුළුවේ තේමාව “පශ්චාත් COVID - 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම” වන අතර සමුළුව පැවැත්වෙන කාලය තුළ ද්විපාර්ශ්වික රැස්වීම්, කොට්ඨාස රැස්වීම් හා උප කලාපීය රැස්වීම් ද පැවැත්වේ.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවක් පවත්වන කලාපයේ දෙවැනි රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ අතර එම අවස්ථාව ලබා දීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය කෘතඥතාව පළ කළේ ය. සමුළුව පැවැත්වීම සදහා වඩාත් සුදුසුම ස්ථානය ශ්‍රී ලංකාව බව තම විශ්වාසය බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදී කොවිඩ් වසංගතය සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රීලංකාව සමත් වෙමින් සිටින බව ද සඳහන් කළේ ය. කොවිඩ් ව්‍යවසනය කළමනාකරණය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව නිරන්තරයෙන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බවත් පශ්චාත් කොවිඩ් සමය ජයගැනීම වෙනුවෙන් මෙම සමුළුව සුවීශේෂි අවස්ථාවක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සඳහන් කළේ ය.

වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාව බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බව ද සඳහන් කළේ ය. ආයෝජකයින් ලෙසත් සංචාරකයින් ලෙසත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සියලුම පාර්ශවයන්ට ආරාධනා කරන බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුව සමග ඉදිරියේදීත් විශ්වාසනීයව සහ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට කැපවන බව ද වැඩි දුරටත් සඳහන් කළේ ය.

පීලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මුලස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක් වූ ආසියානු සංවර්ධන බැංකුවේ මහලේකම් මුහමඩ් ඉෂාන් ඛාන් මහතා සඳහන් කළේ

ශ්‍රී ලංකාවේ කොවිඩි එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එසේ ම සමස්තයක් ලෙස කොවිඩ් ව්‍යවසනය කළමනාකරණය කිරීම අතින් ශ්‍රී ලංකාව ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බව ද හෙතෙම මෙහි දී සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව පැවැත්වීමට ඉතා ආරක්ෂිත රට බව පෙන්වා දුන් මහලේකම්වරයා පශ්චාත් කොවිඩ් කාලවකවානුවට මුහුණදීම සදහා කොළඹ දී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවට අමතර ශක්තියක් වනු ඇතැයි මෙහි දී විශ්වාසය පළ කළේ ය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,

මුදල් අමාත්‍යාංශය