ඉන්දියානු අපනයන-ආනයන බැංකු සහාය යටතේ ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණයමාලාවක් (STLOC)

ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් කෙනෙකි. 1973 දී ඉන්දියානු රුපියල් මිලියන 46.35 ක ආනයන භාණ්ඩ ණයක් ලබා දීමෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ප්‍රථම ණය පහසුකම ලබා දී ඇත. වර්තමානයේ ඉන්දියානු සංවර්ධන ආධාර; ණය, ප්‍රදාන සහ තාක්ෂණික සහාය ලෙස ලැබෙන අතර මේවා ප්‍රධාන වශයෙන් ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ජීවනෝපාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ධාරිතා ගොඩනැගීම සහ ආර්ථික පිළිසකරණය කිරීම යන අංශ වෙත යොදාගනු ලබයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ පියවරක් ලෙස මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 01 සිට 02 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර විශේෂයෙන් බලශක්ති සංරක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටිකාලීන ණය මාලාවක් (STLOC) පිරිනැමීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇත. දේශීය විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් සම්බන්දව පවතින සැලකිය යුතු ද්‍රවශීලතා හිඟය මධ්‍යයේ, ඉන්දියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා මූල්‍ය සම්පාදනය කිරීම සඳහා යෝජිත ණය මාලාව භාවිතා කරනු ඇත. අනෙක් අතට, ප්‍රතිසාධන ක්‍රියාවලියේදී රටට විදේශ මුදල් ගලා ඒම වාසිදායක වන තෙක් මෙය ආධාරයක් වනු ඇත.

අද, ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය අපනයන – ආනයන (EXIM BANK OF INDIA) බැංකුව අතර කොළඹ මුදල් අමාත්‍යාංශයේ දී STLOC ගිවිසුම අත්සන් තබන ලදී. ගරු. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් ගරු .ගෝපාල් බග්ලේ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය එක්සිම් බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී ගෞරව් භණ්ඩාරි මහතා ණය ගිවිසුම සඳහා අත්සන් තබන ලදී.

 

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

මුදල් අමාත්‍යාංශය

2022 පෙබරවාරි 02

Press Release | Sinhala

Press Release | English