කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත් පාසල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල ප්‍රවාහන රථ සහ ත්‍රිරෝද රථ සඳහා වූ හිඟ වාරික ගෙවීම ඉදිරියට රැගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් වසංගතය හමුවේ රට යළි සක්‍රිය වීම හේතුවෙන් රථ වාහන හිමිකරුවන්ට ලීසිං වාරික සාමාන්‍ය පරිදි ගෙවාගෙන යාමේ හැකියාව මේ වන විට ලැබෙමින් පවතී. එහෙත් ඇතැම් මූල්‍ය ආයතන මගින්, රජය විසින් ලබා දුන් සහන කාලයට අදාළ වාරික මුදල් ද සාමාන්‍ය වාරික සමග ගෙවන ලෙස වාහන හිමියන්ගෙන් ඉල්ලා තිබේ. පවතින ආර්ථික පසුබිම තුළ වාරිකවලට අමතර මුදලක් ගෙවීමේ හැකියාව තමන්ට නොමැති බවට ප්‍රවාහන සංගම් නියෝජිතයන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යතුමා මෙසේ උපදෙස් ලබා දුන්නේ ය.
ඇතැම් මූල්‍ය ආයතන නොගෙවා සිටි ලීසිං වාරික වෙනුවෙන් වූ පොලී මුදල් ඉදිරි වාරික සඳහා එකතු කර ඇති බව ද මෙහි දී රථ වාහන හිමියෝ පැවසූහ. අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ ආයතනයෙන් ආයතනයට වෙනස් වන මූල්‍ය ප්‍රතිපත්තියක් වෙනුවට ලීසිං පහසුකම් ලබා දෙන සියලු මූල්‍ය ආයතනයන් එකම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි.
එහි දී එම සංගම් නියෝජිතයන් කියා සිටියේ ලීසිං වලට අදාළ ගිවිසුම් අත්සන් තැබීමේ දී කොන්දේසි පත්‍රිකාවල සඳහන් වන කරුණු ඉංග්‍රීසි බසින් පමණක් සටහන් කර තිබීම සහ නිසිපරිදි අවබෝධ කර නොදීම හේතුවන් තමන් දැඩි අපහසුතාවට පත් වන බවයි. ඒ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ලීසිංවලට අදාළ ගිවිසුම් සරළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සඳහන් කිරීම අනිවාර්යය කිරීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. එසේ ම අත්සන් තබන පාර්ශ්ව ඉල්ලා සිටින අවස්ථාවල දී එම කොන්දේසි සරළව පැහැදිලි කර දීමේ අවශ්‍යතාව මූල්‍ය ආයතන වෙත දැන්විය යුතු බව ද කියා සිටියේ ය.
පාසල් වෑන් රථ, කාර්යාලීය බස් රථ සහ ත්‍රිරෝද රථ හිමියන් සමග ඊයේ (08) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ය. පාසල් වෑන් රථ සහ කාර්යාලීය ප්‍රවාහන සේවා ක්ෂේත්‍රයේ නියැලි පිරිස සහ ඔවුන්ගෙන් යැපෙන්නන් 50,000කට අධික පිරිසකට ඍජුව බලපෑ මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වීම පිළිබඳ ඔවුහු සිය සතුට පළ කළහ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, යන මහත්වරු ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
සමස්ත ලංකා කාර්යාලීය ප්‍රවාහන සම්මේලනය, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සහ සුනිල් ජයවර්ධන පදනමේ සාමාජිකයෝ පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගි විය.
අසේල බණ්ඩාරනායක
ගරු මුදල් අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
ප්‍රවෘත්ති අංශය