විවිධ ආයෝජන කටයුතු වෙනුවෙන් රජයේ දේපොළ ලබා දීමට අදාළ තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී කඩිනම් පියවර අනුගමනය කරන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් ලබා දෙයි. එසේ ම රාජ්‍ය ආයතනයක් අයෝජන කටයුත්තක් සඳහා එකම දේපොළක් වෙනුවෙන් විටින් විට තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී යම් සහන ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ එතුමා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. එම සාකච්ඡාව ඊයේ (01) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
දේශපාලන අධිකාරිය සංවර්ධන කටයුතු පිළිබඳ විවිධ සාකච්ඡා පවත්වමින් තීන්දු තීරණ ගනු ලබන අතරතුර සෙසු රාජ්‍ය ආයතන සහ ඒවායේ නිලධාරීන්ගේ කාර්යභාරය විය යුත්තේ එම තීන්දු නිසි පරිදි ක්‍රියාත්මක කරමින් සංවර්ධනය ඉදිරියට රැගෙන යාම බව හෙතෙම අවධාරණය කළේ ය. එසේ ම කුමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ ද කුමන නීති රිති පද්ධතියකයට අනුව කටයුතු කළ ද අවසානයේ ඒ සියල්ල ජනතා යහපත උදෙසා සිදු කළ යුතු බව ද මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහි දී කියා සිටියේ ය.
රජයේ දේපොළ විවිධ ආයෝජන කටයුතු වෙනුවෙන් ලබා දීමේ දී ඒවායේ වත්මන් වටිනාකම් තක්සේරු කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රජයේ තක්සේරු දෙපාර්මේන්තුව මගිනි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එම වගකීම වෙනත් පාර්ශ්ව වෙත පැවරීම ගැටලුවලට තුඩු දිය හැකි තත්ත්වයක් බැවින් අදාළ දෙපාර්තමේන්තුව යටතේ ම එම වගකීම පැවැතීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව, කොළඹ නගර සභා යන ආයතන නියෝජිතයන්, ආයෝජන කටයුතු සඳහා දේපොළ තක්සේරු කිරීමේ දී තමන් මුහුණ දෙන අපහසුතාවන් මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළේ ය. විශේෂයෙන් ම ආයෝජන සඳහා ලංසු තැබීම වැනි කටයුතවල දී කඩිනමින් තක්සේරු වාර්තා ලබා ගැනීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. එසේ ම තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් තක්සේරු වාර්තාවක් කල් ඉකුත් වීමෙන් අනතුරුව යළිත් වාර්තාවක් ලබා ගැනීමේ දී සම්පූර්ණ ගාස්තුවම යළිත් ගෙවීමට සිදු වීම පිළිබඳ ව ද මෙහි දී කරුණු දැක්වීය.
අග්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ කඩිනමින් එම වාර්තා නිකුත් කිරීම ආයෝජකයන් දිරිමත් කිරීමේ ප්‍රධාන සාධකයක් බවයි. එම කටයුතු කඩිනම් කිරීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු පිරවීම වහාම කටයුතු කරන ලෙසත් පවතින පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් බඳවා ගැනීමට ඇති හැකියාව ද සොයා බලන ලෙස අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේ ය.
එසේ ම වරක් තක්සේරු කළ රජයේ දේපොළක් ආයෝජන කටයුත්තක් සඳහා යළි තක්සේරු කිරීමේ දී යම් සහන ගාස්තුවක් අය කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යතුමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
විශේෂයෙන් ම ආයෝජනයන් සඳහා රජයේ දේපොළ ලබා දීමට අදාළ තක්සේරු වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ ආයෝජකයන් දිරි ගැන්වීම රජයේ ප්‍රතිපත්තියක් බවයි.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍යතුමාගේ යටතේ පවතින ආයතන රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
අසේල බණ්ඩාරනායක
ගරු මුදල් අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්