කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමට යෝධ සංවර්ධනය සැලසුමක්

• කොළඹ රථ වාහන තදබදය නිසා දෛනිකව අහිමි වන රුපියල් මිලියන 1000න් 50%ක් ඉතිරි කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

• කොළඹ නාගරික දුම්රිය ව්‍යාපෘතියට මහරගම නගරය ද එක් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්.

කුමන සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ද එහි ප්‍රමුඛ අරමුණ විය යුත්තේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙන්නේ ජනතා අවශ්‍යතා ඉටු නොවන සංවර්ධන ව්‍යාපෘති ඉතිහාසයට සීමා කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් යෝජිත දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීම සඳහා දුම්රිය මාර්ග තුනක් හඳුනාගෙන තිබේ. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපන දක්වා ද, අනෙක් මාර්ගය මොරටුව, පිළියන්දල, නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ද, තුන් වැන්න කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද ඉදි කිරීමට යෝජිත බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යතුමා හමුවේ පැවැසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහි දී කියා සිටියේ වඩාත් ජනාකීර්ණ නගරයක් වන මහරගම නගරය මෙම ව්‍යාපෘතිය සඳහා ඇතුළත් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. පිට පළාත්වලින් විශාල වශයෙන් ජනතාව මහරගම ප්‍රදේශය වෙත පැමිණෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින නගරයේ දැඩි රථ වාහන තදබදයට ද මෙම ව්‍යාපෘතිය හරහා විසඳුම් ලැබෙනු ඇති බවයි.

සංවර්ධනය ජනතා අවශ්‍යතා වෙනුවෙන් සිදු විය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ එසේ නොවන සංවර්ධන ව්‍යාපෘති රටට අනවශ්‍ය බවයි.

ඒ අනුව කිලෝමීටර් 21.5ක දුරකින් සමන්විත යෝජිත කොට්ටාව, හුනුපිටිය දුම්රිය මාර්ගය සඳහා මහරගම නගරය ඇතුළත් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීහු අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටියහ.

මාර්ග තදබදය හේතුවෙන් 2019 වසර තුළ දී ශ්‍රී ලංකාවට සිදු වූ දෛනික ආර්ථික අලාභය රුපියල් මිලියන 1000ක් ලෙස ගණන් බලා තිබේ. ඊට එක් විසඳුම්ක් ලෙස වත්මන් රජය මගින් පසුගිය දා ආරම්භ කළ සිටි බස් ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. සිය පෞද්ගලික වාහනවලින් කොළඹ නගරයට පැමිණෙන ජනතාව සිටි බස් ව්‍යාපෘතිය හරහා මෙම දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. වසර හතරකින් වැඩ අවසන් කිරීමට අපේක්ෂිත රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘතියක් (Public Private Partnership) ලෙස ක්‍රියාත්මක මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5000ක ඍජු විදේශ ආයෝජනයකි. 6% රජයේ දායකත්වක් ද මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීමට යෝජිත ය. මෙම දුම්රිය ව්‍යාපෘතිය මගින් පමණක් දෛනිකව රුපියල් මිලියන 550ක පමණ ඉතිරියක් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා විදේශ ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමේ දී ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල හොඳින් සලකා බලන ලෙස උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යතුමා කියා සිටියේ එම වගකීම නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් සතු වන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

අසේල බණ්ඩාරනායක,
ගරු මුදල් අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

2021_03_03 දුම්රිය ව්‍යාපෘතිය.pdf